අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/19

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

මිලාන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ උතුරු පළාතේ සේවය කරමින් හිටියේ. සති දෙකක නිවාඩුවක් ගත කිරීමට ඔහු ගමට ඇවිත් සිටි අතර මේ කාලය තමයි මිලාන්ට ටිකක් විවේක පාඩුවෙ ඉන්න, යාළුවො හම්බවෙන්න, පවුලේ කට්ටිය එක්ක කාලය ගත කරන්න තිබුණේ. ඒ වගේම සමාජ මාධ්‍යවලත් එක එක දේවල් බලන්න පුළුවන් වුනේ මේ ටිකේ. කෑම්ප් එකේ දී නම් මේ දේවල් කරන්න ලැබුණේ නෑ.

දවසක් එයාට දක්ෂිතගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුණා. දක්ෂිත මිලාන්ගෙ හොඳ යාළුවෙක්. ඒ වගේම හමුදාවෙත් එකට වැඩ කරනවා.

දක්ෂිත: මට ඔයාගේ උදව් ඕන. මම ඔන්ලයින් ෆේස්බුක් වැඩසටහනක තානාපති තනතුරක් සඳහා ඉල්ලුම් කරලා තියෙන්නෙ.
පහළ තියන ලින්ක් එකට ගිහින් මට ඡන්දය දෙන්න පුළුවන්ද ප්ලීස්
xxxxxxxxxxx

මේ මැසේජ් එක දැක්ක ගමන් මිලාන් පුදුම වුණා. මොකද එයාට දක්ෂිතව ළඟදිී හම්බවුන නිසා. කෝකටත් කියලා මිලාන් දක්ෂිතට කෝල් කරා. ඒත් දක්ෂිත කෝල් එක ගත්තෙ නෑ. මිලාන් ආයෙත් උත්සාහ කරා. ඒත් දක්ෂිතගෙන් උත්තරයක් නෑ. මිලාන්ගෙ බලාපොරොත්තුව බිඳ වැටුණා. ඒත් එක්කම මිලාන්ට මතක් වුණා, දක්ෂිත ඉන්නෙ පුහුණුවීම් වල කියලා. එයාට කොහොමත් කෝල් ගන්න විදියක් නෑ කියලා මිලාන්ට තේරුණා.

ඒ දවස ගෙවිලා ගියා. ඊළඟ දවසෙ මිලාන් පරණ ඉස්කෝලේ යාළුවොත් එක්ක ගාල්ලේ විනෝද ගමනක් ගියා. ඒත් දක්ෂිතගෙ අමුතු මැසේජ් එකට මිලාන් තාම පොඩ්ඩක් කලබල වෙලා හිටියෙ. යාළුවො එක්ක කතා කර කර ඉන්නකොට මිලාන් දක්ෂිතගෙ මැසේජ් එක ගැන කිව්වා. එතකොට මිලාන්ගෙ යාළුවෙක් දක්ෂිතට කිව්වා හිතවතී එකට කතා කරලා මේ ගැන පොඩ්ඩක් අහලා බැලුවොත් හොඳයි, මොකද හිතවතී යූටියුබ් චැනල් එකෙන් හරියට ඔය වගේ වංචා (ස්කැම්) ගැන කතා කරනවා කියලා.

මිලාන් ඒකට එකඟ වෙලා හිතවතීට කතා කළා. මිලාන් එයාට වුන දේ කිව්වා. හිතවතී මිලාන්ට හොඳින් ඇහුම්කන් දුන්නා.

හිතවතී: මිලාන්, මේ දවස්වල ඕක හරිම සුලබ වංචාවක්. ඔයාගෙ යාළුවගෙ ගිණුම හැක් කරලා ඇත්තෙ. දැන් ඒ වංචාව කරන කෙනා තව ගිණුම් හැක් කරන්න යාළුවගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ අයට හානිකර ලින්ක් එකක් එක්ක ඔය පණිවිඩය යවනවා ඇති. හැක් කරාට පස්සේ වංචාකරු කරන්නෙ ඇත්ත ගිණුම් හිමියාගෙන් මුදල් ඉල්ලලා හරි වෙන දෙයක් කරන්න කියලා හරි බ්ලැක්මේල් කරනවා. ඡන්දය දෙන්න කියලා ‍යාළුවොන්ගෙන් එන මේ මැසේජ්වල ලින්ක් මොනවත් ක්ලික් කරන්න යන්න එපා. එහෙම කරොත් ඒක මේ වංචාකරුට දිගින් දිගටම හැක් කරන්න උදව්වක් වෙනවා. ඔයාගෙ යාළුවොන්ටත් මේ ගැන කියන්න. ඔයාට අපේ වෙබ් අඩවියෙන්, සමාජ මාධ්‍ය නාලිකාවලින් තව මේ දේවල් ගැන විස්තර දැනගන්න පුළුවන්.
මිලාන් ගොඩාක් ස්තූති කළා හිතවතී ලබා දුන් තොරතුරුවලට. මේ වගේ තව ඔන්ලයින් වංචා ගැන දැන ගන්න හිතවතී යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඔහු තීරණය කළා.

පූර්වාරක්ෂක ඉඟි:

  • වංචාකරුවන් ඔබේ ගිණුම් හැක් කිරීමට (ඔවුන්ගේ පාලනයට ගැනීමට), ඔබේ පුද්ගලික / මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට සහ වෙනත් වංචනික ක්‍රියාකාරකම්වල යෙදීමට ව්‍යාජ හෝ හැක් කරන ලද ගිණුම් භාවිත කරයි.
  • ඔබට වංචනික පණිවිඩයක් ලැබෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දක්වන්න එපා. එහි ඇති සබැඳි (ලින්ක්) ක්ලික් කරන්න එපා. ඒවා මඟ හැරීම නුවණට හුරුය.
  • වංචා සහගත පණිවිඩය එවූ ගිණුම වාර්තා (රිපෝට්) කර බ්ලොක් කරන්න.
  • සුලබ ඔන්ලයින් වංචා පිළිබඳව ඔබ දැනුවත් වෙන්න.
  • මිතුරෙකු ඔබට සැක සහිත පණිවිඩයක් එවා ඇත්නම් එය ඔහුගේ / ඇයගේ ගිණුම හැක් වී ඇති අවස්ථාවක් විය හැක. පණිවිඩයේ සත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ව කෙලින්ම ඇමතිය හැක.