අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/19

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

දීප්ති එක දවසක් හවස් වරුවේ ෆේස්බුක් කතා බල බල ඉද්දි, අලුත් විලාසිතා එක්ක ලස්සන ඇඳුම් ගැන දැන්වීමක් දැක්කා. ගාණත් හරිම අඩුයි. හොඳ වෙලාවට මේක දැක්කෙ කියලා හිතපු දීප්ති මේවා නම් ඉක්මනින් විකිණෙයි කියලා ගවුම් කීපයකුයි, බ්ලවුස් කීපයකුයි ඕඩර් කරා.

දවස් කිහිපයකට පස්සෙ දීප්තිගෙ පාර්සලය ආවා. දීප්ති හරිම උනන්දුවෙන් ඒක ඇරලා බැලුවා. ඒ වුනාට එකේ ඇතුළෙ තිබ්බෙ මොනවද දන්නවද? පරණම පරණ කවුරුහරි ඇඳපු වගේ ඇඳුම් ටිකක්! ඇඳුම් වල පාට ගිහින් තිබ්බෙ. බාල රෙද්දකින් තමයි මහලා තිබ්බෙ. දීප්තිට පරණ ඇඳුම් ටික දැකලා එපා වුණා. මොනවද කරන්නෙ කියලා කල්පනා කරලා ඉක්මනින් ඇඳුම් කඩේ ෆේස්බුක් පිටුවට ගිහින් ඒකෙ තිබ්බ නම්බර් එකට කෝල් කරා. ඒත් කවුරුවත් කතා කරේ නෑ.

කලකිරුණ දීප්ති, උදව් සඳහා හිතවතීට කතා කරා. මේක එක්තරා ආකාරයක වංචාවක් බව හිතවතී පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම, විකුණුම්කරුගේ තොරතුරු එකතු කරගෙන පොලීසියේ පැමිණිල්ලක් ගොනු කරන ලෙස දීප්තිට දැනුම් දුන්නා. ඔන්ලයින් ෂොපිං කරද්දි පරිස්සම් වෙන්න ඕන විදියත් කියලා දුන්නා. හිතවතී දුන් උපදෙස්වලට දීප්ති ගොඩක් ස්තූතිවන්ත වුණා

ඊළඟ වතාවේ, ඕනම දෙයක් ඔන්ලයින් මිලදී ගන්න කලින් අදාළ ආයතනය වෙත පළ කර ඇති පාරිභෝගික අදහස් (Reviews) කියවන බවත්, විකුණුම්කරු විශ්වාසවන්තද යන්න හොඳින් සොයා බලන බවටත් ඇය තමාටම පොරොන්දු වුණා.

පූර්වාරක්ෂක ඉඟි:

  • මේ දිනවල අන්තර්ජාල සාප්පු සවාරි වංචා (ස්කැම්) බහුලව සිදුවන බැවින්, “භාණ්ඩය ලැබීමෙන් පසු මුදල් ගෙවීම (cash on delivery)” යන විකල්පය තෝරා ගැනීම වඩා ආරක්ෂිතයි.
  • මිලදී ගැනීමක් කිරීමට පෙර සෑම විටම ඔන්ලයින් විකුණුම්කරුවන් පිළිබඳ පාරිභෝගික අදහස් (Reviews) කියවා ඔවුන් පිළිගත් විකුණුම්කරුවන්ද යන්න සොයා බලන්න.
  • ෆේස්බුක් හි ව්‍යාජ (fake) ව්‍යාපාරික පිටු වාර්තා (රිපෝට්) කරන්න.
  • මිලදී ගැනීමට පෙර විකුණුම්කරුවන්ගෙන් ඔවුන්ගේ හුවමාරු (exchange) කොන්දේසි ගැන විමසන්න.
  • මෙම වංචාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියේ විධිමත් පැමිණිල්ලක් ගොනු කරන්න නැත්නම් පාරිභෝගික ගැටලු සම්බන්ධව කටයුතු කරන ශ්‍රී ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරියට (CAA) වාර්තා කරන්න.