අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/18

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

 

සුපුන් කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක තුන් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු කාලයක ඉඳන් සීමාවාසික (internship) පුහුණුවක් අපේක්ෂාවෙන් ආයතන රාශියකට අයදුම්පත් යොමු කළා. දවසක් ඔහු සීමාවාසික පුහුණු ලබාදෙන ආයතන ගැන අන්තර්ජාලයේ සොයන විට අපූරු දැන්වීමක් දැක්කා. දැන්වීමේ තිබූ තොරතුරු කියවූ සුපුන් ඉතා ඉක්මනින් ඒ දැන්වීම පළ කර තිබූ ආයතනයට එයාගෙ විස්තර ඇතුළත් කරලා ඊ-මේල් පණිවුඩයක් යැව්වා.

ඊට පස්සෙ​ සුපුන් වෙනදා වගේ එයාගෙ සුපුරුදු වැඩ කටයුතුවල යෙදී සිටියා. දවසක් ඔහුට එක් ආයතනයකින් ඇමතුමක් ආවා.

සුපුන්: හලෝ…. හලෝ….
ආයතනය: ආයුබෝවන්! අපි මේ XYZ ආයතනයෙන්. අපි ඔයාව සීමාවාසික පුහුණු වැඩසටහනක් සඳහා තෝරා ගත්තා. හෙට අපි ලින්ක් එකක් එවනවා. ඒකේ තියෙන ෆෝර්ම් එකට ඔයාගෙ තොරතුරු දාලා පුරවලා පුළුවන් ඉක්මනින් සබ්මිට් කරන්න. ස්තූතියි!

ඒ ඇමතුම සම්පූර්ණයෙන් පටිගත කරන ලද ඇමතුමක් නිසා සුපුන්ට පොඩි සැකයක් ඇති වුණා. සුපුන් එසැණින් අදාළ දුරකථන අංකය පිළිබද වැඩිදුර විස්තර සොයන්න පටන්ගත්තා. මේ ගැන අන්තර්ජාලයේ පළ වී තිබූ තොරතුරුවලට අනුව ඔහුට දැනගන්නට ලැබුනේ එම අංකය වංචාවන් සිදුකිරීම සදහා යොදාගන්නා අංකයක් බවයි. සුපුන් වහාම ඒ අංකය බ්ලොක් කරා.

සුපුන් නිතරම හිතවතී එක්ක සයිබර් ස්කැම් ගැන අප්ඩේට් වෙලා හිටපු නිසා මේ වංචාවට හසු නොවී බේරුනා.

පූර්වාර්ක්ෂක ඉඟි:

  • ඇමතුම් අංකය පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන නාඳුනන ඇමතුම් හෝ පණිවිඩවල ඇති අංකයන් Google හෝ අනෙක් විශ්වසනීය සෙවුම් මාර්ග භාවිතයෙන් පරීක්ෂා කරන්න.
  • පුද්ගලික තොරතුරු බෙදා නොගන්න​: ඔබේ පෞද්ගලික තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු තොරතුරු වැනි) සැක හැර තහවුරු කිරීමකින් තොරව ලබා නොදෙන්න.
  • තොරතුරු මූලාශ්‍ර විශ්වාසනීය දැයි කියා පරීක්ෂා කරන්න: අන්තර්ජාල දැන්වීම් හෝ ඊ-මේල් පණිවිඩවල විශේෂිත මූලාශ්‍ර (සැබෑවටම එවුවේ කවුද වැනි දේ) නිරීක්ෂණය කර ඒවා විශ්වාසනීය දැයි පරීක්ෂා කරන්න.
  • මෘදුකාංග (සොෆ්ට්වෙයා) සහ ලින්ක් පරීක්ෂා කරන්න: ඔබ එවන විවිධ ලින්ක් හෝ මෘදුකාංග මගින් දත්ත සොරකම් කිරීමේ අවදානමක් පවතී, එම නිසා ඒවාට පිවිසීමේදී සැලකිලිමත් වන්න​.