අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/20

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

අසේල සහ චමත්කා පාසල් පෙම්වතුන්. ඒ දෙන්නා 6 වසරේ ඉඳලා එකම පාසලේ තමයි ඉගෙන ගත්තෙ. මුලින්ම එයාලා හොඳ මිතුරන් වුණා. 12 වසර වෙන කොට ඒ යාළුකම ප්‍රේම සම්බන්ධයක් බවට පත් වුණා. මේ සම්බන්ධය තිබියදීත් අසේල සහ චමත්කා ඉගෙනීමට කැපවූ සිසුන් වුණා. කිසි විටෙකත් ඔවුන් පන්ති අතපසු කරේ නෑ. ඒ ආදරය අධ්‍යයන කටයුතුවලට බාධාවක් කර ගත්තෙත් නෑ. වාර විභාග ලකුණු වලදී නම් ඒ දෙන්නා පොඩ්ඩක් තරඟකාරී වුණා.
දෙන්නම උසස් පෙළ විභාගයට පස්සෙ කම්පියුටර් කෝස් එකක් කරන්න පටන් ගත්තා. මාස කිහිපයකට පස්සෙ උසස් පෙළ ප්‍රතිඵලත් ආවා. චමත්කා කැම්පස් යන්න පුළුවන් ප්‍රතිඵල එක්ක ඉහළින්ම පාස් වෙලා තිබුණා. අසේලත් පාස්වෙලා, හැබැයි චමත්කා තරම් නෑ. හැමෝම කිව්වෙ අසේලට ආයෙත් විභාගෙ කරන්න කියලා. අසේලටත් ඒකම හිතුනා.
චමත්කා කැම්පස් යන්න කලින් එයාගෙ තාත්තා අලුත් ස්මාර්ට් ෆෝන් එකක් චමත්කාට අරගෙන දුන්නා. අසේල හම්බවෙන්න චමත්කා ගිය වෙලාවේ අසේල පොඩ්ඩක් වෙනස් විදියට තමයි හැසිරුණේ.

අසේල: මට ශුවර් ඔයාට කැම්පස් එකේදී මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි කියලා පැටියො. එතකොට අපිට වැඩිය මීට් වෙන්නත් බෑනෙ. ඔයාට මාව අමතක වෙයි.

චමත්කා: නෑ ඒක කවදාවත් වෙන්නෙ නෑ. අපිට නිවාඩු කාලේදී මීට් වෙන්න පුළුවන්. අනිත් වෙලාවට අපි කෝල් කරමු.

අසේල චමත්කාගෙ අලුත් ෆෝන් එක අරගෙන බැලුවා. චමත්කාට පේන්නෙ නැති වෙන්න අසේල ෆෝන් එකේ සෙටිංස් වගයක් වෙනස් කරා. සොෆ්ට්වෙයා එකකුත් ඉන්ස්ටෝල් කරා. එයා කිව්වෙ වයිරස් ගාඩ් එකක් දැම්මා කියලා. චමත්කා අසේලට ස්තූති කළා.
චමත්කා යන්න කලින් එක සැරයක් ඒ දෙන්නා ආයෙත් හම්බ වුණා.

අසේල: මට ඔයා ගියාම හරි පාළුයි. පරිස්සමින් ඉන්න. අපි ඉක්මනට මීට් වෙමු. ඒක නෙවේ මට ඔයාගෙ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පාස්වර්ඩ් දෙන්න පුළුවන්ද?

චමත්කා පුදුම වුණා,

චමත්කා: ඇයි ඔයා ඒවා දැන් මගෙන් ඉල්ලන්නෙ?

අසේල: ඔයා මට ආදරේ නම් ඉල්ලපු දේ දෙන්න ඕන. ඔයාට මගෙන් හංගන්න මුකුත් නෑනෙ.

අකමැත්තෙන් චමත්කා අසේලට පාස්වර්ඩ් දුන්නා. ඒ දෙන්නා නිතර කෝල් කරා. එකිනෙකාට මැසේජ් යැව්වා. ඒත් අසේල චමත්කාට ටික ටික ඊරිසියා කරන්න ගත්තා. එක දවසක් අසේල චමත්කාගෙ ඔක්කොම පාස්වර්ඩ් වෙනස් කරා. වෙනස් කරපු පාස්වර්ඩ් චමත්කාට දුන්නෙත් නෑ. චමත්කා දාන විදියට ඒ දෙන්නගෙ ගොඩක් පින්තූර ෆේස්බුක් දැම්මා. චමත්කාට මේක හරිම කරදරයක් වුණා. චමත්කාට එයාගෙ ෆෝන් එකත් කවුරුහරි පාවිච්චි කරනවා වගේ දැනුණා. එයාට හිතුනෙම අසේල තමයි මේක කරන්නෙ කියලා. චමත්කා ගෙදර යනකොට වටපිට අයත් එයා දිහා අමුතු විදියට බැලුවා. සමහරු ෆොටෝ ලීක් එකක් ගැන හින්ට් පාස් කරන්න ගත්තා.

චමත්කා යාළුවෙක් එක්ක දුරකථන සේවා සමාගමට ගියා, එයාගේ ෆෝන් එකේ අසාමාන්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. චමත්කාගෙ ෆෝන් එකට මොනිටරිං සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරලා කියලා එතන හිටපු කාර්මික ශිල්පියෙක්ගෙන් දැනගන්න ලැබුණා. ඒකෙන් ෆෝන් එකේ සිදු කරන දේ වෙන කෙනෙකුට බලන්න පුළුවන් කියලා කිව්වා. චමත්කාට මතක් වුණා අසේල එයාගෙන් ෆෝන් එක ඉල්ලගත්ත දවස. චමත්කාට බය හිතුනා අසේල එයාගෙ ෆෝන් එකේ පුද්ගලික පින්තූර වගේම තොරතුරු වැරදි විදියට පාවිච්චි කරයි කියලා. මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව චමත්කා අඬන්න ගත්තා. එයා හිතුවෙ නෑ එයා වැඩියෙන්ම ආදරය කරපු කෙනා මේ විදියට සලකයි කියලා. මේ අතරේ චමත්කාගෙ යාළුවා එයාට කිව්වා හිතවතීට කතා කරලා බලන්න කියලා. යාළුවා හිතවතී ගැන දැනගෙන තියෙන්නෙ ඉස්කෝලේ තිබුණ සයිබර් ආරක්ෂාව ගැන වැඩමුළුවකදී.

චමත්කා හිතවතීට කතා කරලා සිද්ධිය කිව්වා. එයා කතා කරපු නියෝජිතයා කිව්වා බලාපොරොත්තු නොවූ විදියට මේ වෙච්ච දේ ගැන සංවේදී තීරණ ගන්න යන්න එපා කියලා. හිතවතී තව දුරටත් කිව්වෙ තමන් කොච්චර ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ට වුනත් පාස්වර්ඩ් දෙන එක නුවණට හුරු නෑ කියලා, ඒ වගේම තව කෙනෙක්ගෙ පාස්වර්ඩ් ඉල්ලන එකත් හොඳ දෙයක් නෙවේ කියලා. තවදුරටත් පෙම්වතා කියන මේ පුද්ගලයාගෙන් වෙන හානිය වළක්වා ගැනීම සඳහා නීතිමය සහය ලබා ගැනීමට කාන්තා පිහිට ආයතනයට ඇයව යොමු කරා. හිතවතී ලබා දුන් සහයට චමත්කා ගොඩක් ස්තූතිවන්ත කළා.

 

පූර්වාරක්‍ෂක ඉඟි:

  • ඔබගේ මුරපදය (පාස්වර්ඩ් එක) දත් බුරුසුවක් මෙන් සලකන්න. එය කිසිවිටෙක කිසිවෙකු සමඟ හුවමාරු කර නොගන්න
  • ද්වි-සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / 2FA) සක්‍රීය කිරීමෙන් අමතර ආරක්‍ෂිත ස්ථරයක් එක් කරන්න. එහිදී මුරපදයට අමතරව ලොග් වෙන්නේ ඔබමදැයි කියා තවත් ආකාරයකින් තහවුරු (වෙරිෆයි) කළ යුතු වේ. හැකි සෑම විටම සමාජ මාධ්‍ය ගිණුම්වල උපස්ථ කේත (backup codes) ලැයිස්තුවක් තබා ගන්න.
  • ආරක්ෂක ප්‍රශ්න (security questions) සම්පූර්ණ කරන්න. ඔබගේ ගිණුම අනවසර පිවිසීමේ උත්සාහයන් පිළිබඳ දැනුවත් වීමට අමතර (රිකවරි) දුරකථන අංකයක්, ඊමේල් ලිපිනයක් යොදා තබන්න.
  • ඔබගේ උපාංග කිසිවෙකු සමඟ හුවමාරු කරන්න එපා. හුවමාරු කිරීමට ඔබට සැබවින්ම අවශ්‍ය නම්, ආගන්තුක මාදිලිය (guest mode) සක්‍රීය කරන්න (තිබේ නම්) / වෙනම පරිශීලක ගිණුමක් (user account) සාදන්න / විශේෂිත යෙදුම් වෙත ප්‍රවේශය සීමා කිරීමට ඇප් ලොකර් භාවිත කරන්න
  • ඔබ හවුල් / පොදු පරිගණකයක් භාවිත කරන විට පුද්ගලික ඔන්ලයින් ගිණුම් (සමාජ මාධ්‍ය, ඊමේල් සහ බැංකු ගිණුම්) වලින් ඉවත් (ලොග් අවුට්) වීමට අමතක කරන්න එපා. එම උපාංගවල කිසිවිටෙක ඔබගේ පාස්වර්ඩ් සුරකින්න (සේව් කරන්න) එපා.
  • සමීප රහස්‍ය දර්ශන පටිගත කිරීම හෝ ඔබගේ නිරුවත වීඩියෝ කිරීමට / ඡායාරූප ගැනීමට අන් අයට ඉඩ දීම නිර්දේශ කළ නොහැක, මන්ද ඒවා කිසියම් හේතුවක් නිසා ලීක් වූවොත් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම කාලයක් ගත වන දිගු ක්‍රියාවලියක් වන බැවිනි.
  • ඔබ මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන කාන්තාවක් නම්, කාන්තාවන් සහ ළමුන් සඳහා නීතිමය සහ මනෝ විද්‍යා උපදේශන සේවාවන් නොමිලේ ලබා දෙන කාන්තා පිහිට (Women In Need) ආයතනයට කතා කරන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk / report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.