අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/19

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

පුබුදුටයි සහනිටයි එයාලගේ ජීවිතයම එළිය කළ පුංචි පුතෙක් හිටියා. පුංචි පුතා හරිම හුරතල්. එයාගෙ වැඩේම සෙල්ලම් කරන එක. හැබැයි ටික කාලයක් යනකොට පුතා සහනිට කියන්න ගත්තා සෙල්ලම් කරයින් පස්සෙ එයාට හරිම මහන්සියි කියලා. සහනි මුලින්ම මේක එච්චර ගණන් ගත්තෙ නැහැ. ඒත් ටික දවසක් යනකොට සහනිට පුතාගෙ වෙනසක් තේරුණා. ඒ නිසා සහනි තීරණය කරා පුතාව දොස්තර කෙනෙක්ට පෙන්නන්න.

දොස්තර පුතාව බලලා පරීක්ෂණ කීපයක් කරගෙන ආයෙත් එන්න කියලා කිව්වා. පරීක්ෂණ වලට අදාළ වාර්තා බැලුවට පස්සෙ දොස්තර පුබුදුට කිව්වා එයා කියන දෙයින් කලබල වෙන්න එපා කියලා. කරපු පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව පුතාට පිළිකාවක් කියලා තමයි කිව්වෙ. ඒත් මේක මුල් අවධියේ තියන නිසා හොඳ කරන්න ගොඩක් ඉඩ තියනවා කියලා දොස්තර කිව්වා.

මේ අහන්න වුන දේත් එක්ක පුබුදුට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරි වුණා. එයාට ලොකු දුකක් එක්ක කම්පනයක් ඇති වුණා. ඇස් දෙකේ කඳුළු පුරවගෙන පුබුදු සහනි ළඟට ගියා. සහනි කලබල වෙලා පුබුදුට කතා කරා. ටික වෙලාවකට පස්සෙ පුබුදු හිතේ හයිය අරගෙන සහනිට ඔක්කොම කිව්වා. සහනිත් හොඳටම අඬන්න ගත්තා. පුබුදු සහනිට පොරොන්දු වුණා පුළුවන් හැම දෙයක්ම කරලා පුතාව කොහොමහරි බේරගන්නවා කියලා.

පුබුදු දොස්තර එක්ක ආයෙත් කතා කරා. වැඩිදුර ප්‍රතිකාරවලට පුතාව සිංගප්පූරුවට එක්කගෙන ගියොත් හොඳයි කියලා දොස්තර කිව්වා. මේකට විශාල මුදල් ප්‍රමාණයක් වැයවෙනවා කියලත් කිව්වා. රෝහලෙන් පිට වෙනවාත් එක්කම පුබුදු මේ සල්ලි හොයාගන්න විදිය තමයි කල්පනා කරේ.

පුබුදු : සහනි, මම හිතුවෙ ලෝන් එකක් ගන්න. හැබැයි ඒක මදි වෙයි කියලා තමයි හිතෙන්නෙ.

සහනි: අපි ෆේස්බුක් එකෙයි, මේ වගේ ඒවට ආධාර දෙන වෙබ්සයිට් වලයි ඇඩ් එකක් දාමුද? මම ඇඩ් එක හදන්නම්.

පුබුදු: වෙලාවෙ හැටියට ඒක හොඳයි. එහෙම කරමු

සහනි පුතාගෙ පින්තූරයි රෝහලෙන් දුන්න වාර්තා ටිකයි දාලා පෝස්ට් එකක් හැදුවා. හිතට දැනෙන සංවේදී පණිවිඩයක් එක්ක පුබුදුගෙ බැංකු ගිණුම් අංකය දාලා සහනි ෆේස්බුක් එකෙයි, අදාළ වෙබ්අඩවි වලයි ඒ පෝස්ට් එක පළ කරා. මේ පෝස්ට් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ගොඩක් අය මේ පෝස්ට් එක ශෙයා කරා. මේ පෝස්ට් එක දැකලා සංවේදී වූ ගොඩක් අය පුබුදුගෙ ගිණුමට සල්ලි දැම්මා.

සතියකට විතර පස්සෙ සහනිට කෝල් එකක් ආවා යාළුවෙක්ගෙන්. යාළුවා කිව්වෙ නම් පුදුම හිතෙන දෙයක්.

සහනිගෙ යාළුවා : හෙලෝ සහනි, මම දැන් දැක්කනෙ ඔයාගෙ පුතාගෙ අර පෝස්ට් එක කෙනෙක් ශෙයා කරලා තියනවා. හැබැයි අකවුන්ට් නම්බර් එකයි නමයි නම් පුබුදුගෙ නෙවේ.

සහනි : ඇත්තද? කොහොමද අනේ එහෙම වෙන්නෙ?

සහනිගෙ යාළුවා : දන්නෙ නෑ. ඔයා දැන්මම පුබුදුට කියන්නකො.

සහනි හොඳටම කලබල වෙලා පුබුදුට කෝල් කරලා කිව්වා යාළුවා කියපු දේ. පුබුදු යාළුවෙක්ගෙන් ඇහුවා මේකට මොකද කරන්නෙ කියලා. යාළුවා පුබුදුට කිව්වා පොඩ්ඩක් හිතවතීට කතා කරලා උපදෙසක් ගන්න කියලා.

පුබුදු හිතවතීට කතා කරලා විස්තරය කිව්වා. බොරු විස්තර දාලා වෙනස් කරපු පෝස්ට් එක රිපෝට් කරන්න කියලා හිතවතී පුබුදුට කිව්වා. ඒ වගේම අදාළ පෝස්ට් එක ගැන විමසිල්ලෙන් ඉඳලා අවශ්‍ය නම් උසස් වාර්තාකරණයට හිතවතී හා යළි සම්බන්ධ වෙන්න කියලත් කිව්වා. මීට අමතරව නීතිමය පියවර ගැනීමේ විකල්පය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනකොට්ඨාසයට පැමිණිලි කිරීම ගැනත් පුබුදුව දැනුවත් කළා.

පූර්වාරක්ෂක ඉඟි:

  • ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ ඡායාරූප තෙවන පාර්ශවයක් විසින් අනිසි ලෙස භාවිත කරනු ලැබුවහොත්, එය කඩිනමින් වාර්තා (රිපෝට්) කරන්න. එක් නිවැරදි වාර්තාවක් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ
  • ඔබේ දරුවා වයස අවුරුදු 13 ට අඩු නම් සහ ඔබට ඔවුන්ගේ ඡායාරූප ෆේස්බුක් එකෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම්, Facebook හි උපකාරක මධ්‍යස්ථානය විසින් සපයා ඇති මෙම පෝරමය පිරවිය හැක
  • ශ්‍රී ලංකාවේ සිදුවන සියලුම ආකාරයේ ළමා අප‌යෝජනවලට එරෙහිව පියවර ගැනීම සහතික කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) 1929 ළමා උපකාරක සේවය අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
  • ඔබට අහිතකර ලෙස බලපෑ හැකි ඔන්ලයින් පළ වී ඇති පවුලේ පින්තූර, වීඩියෝ, හෝ වෙනත් ඕනෑම හානිකර අන්තර්ගතයක් රිපෝට් කර ඉවත් කිරීමට අවශ්‍ය සහාය සඳහා හිතවතී වෙත සම්බන්ධ වීමට පසුබට නොවන්න.