අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/20

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.


අනුලා, කුවේට් රටේ කාර්යබහුල නගරයක ධනවත් පවුලක ගෘහ සේවිකාවක් ලෙස සේවය කළා. ඇය හරිම කරුණාවන්තයි. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අනුලාට ඕන වුණේ ඇගේ සැමියා සංජය සමඟ වඩා හොඳ සුව පහසු ජීවිතයක් ගත කරන්නයි.

දවසක් අනුලාගේ ෆෝන් එක කැඩුණා. නිවසේ රියැදුරු වික්‍රම් කිව්වේ එය අලුත්වැඩියා කිරීමට ගෙන යා හැකි බවයි. අනුලා වික්‍රම් ගැන විශ්වාස කරලා එයාගේ ෆෝන් එක වික්‍රම්ට දුන්නා.

ඒත් වික්‍රම් නම් උදව් කරන මුවාවෙන් වෙන වැඩකට තමයි ලෑස්ති වු‌ණේ; අනුලා වික්‍රම් කෙරෙහි තිබූ විශ්වාසය ඔහු කඩ කළා. ඔහු ඇගේ ජංගම දුරකථනයේ ගැලරිය පරීක්ෂා කළා. ඔහු පින්තූර කිහිපයක් සොයාගෙන ඒවා නරක පින්තූර ලෙස පෙනෙන විදිහට නිරුවත් ඇඟවල් බද්ධ කර වෙනස් (එඩිට්) කළා. ඉන්පසු ඔහු සෙමින් අනුලාව බ්ලැක්මේල් කරන්න ගත්තා. ඔහුට සල්ලි දුන්නේ නැත්නම් එඩිට් කළ පින්තූර ඇගේ සැමියාට යවන බවට තර්ජනය කළා.

අනුලා හොඳටම බය වුණා. ඇයට කර කියාගන්න දෙයක් නැති වුණා. වික්‍රම් ඇයට දිගින් දිගටම පණිවිඩ එව්වා. ඇයගේ ඇත්ත නිරුවත් පින්තූරත් ඔහුට අවශ්‍ය වුණා. ඒ වගේම වීඩියෝ කෝල් ගන්නත් කිව්වා. කලබලයට පත් අනුලා ඔහුගේ සියලු ඉල්ලීම්වලට එකඟ වුණා. අනුලාට නොදැනීම ඔහු ඔවුන්ගේ වීඩියෝ ඇමතුම් පටිගත කළා. දැන් වික්‍රම් සැබෑ පින්තූර සහ වීඩියෝ පටිගත කිරීම් එක්ක අනුලාව තවත් බ්ලැක්මේල් කරන්න පටන් ගත්තා.

වික්‍රම්: මම මේ පින්තූර සේරම තමුසෙගෙ මිනිහට යවනවා. බලාගෙන ඉන්නවා.
අනුලා: අනේ එහෙම කරන්න එපා. මගේ පවුල කැඩෙයි.

මොකක් කරන්නද කියලා අනුලාට හිතාගන්න බැරි වුණා. අනුලා සංජයට ආදරේ නිසා වික්‍රම් යවන්න හදන මේ පින්තූර සංජය දකිනවට එයා කැමති වුණේ නෑ. අනුලාට මහ තනිකමක් දැනුනා.

වික්‍රම් කිසිම අනුකම්පාවක් නැතිව සියලුම වීඩියෝ සහ පින්තූර අනුලාගේ සැමියාට වට්ස්ඇප් කළා. මේ නිසා අනුලා ලොකු අමාරුවක වැටුණා. සංජය ඇයට චෝදනා කරන්න ගත්තා. සෑම දිනකම ඇයට බලපෑම් කළා. ඒ සමඟම වික්‍රම් ද ඇයට තර්ජනය කරා. ඇයට දැනුණේ දැඩි වෙහෙසක්. අනුලා ටිකෙන් ටික මානසිකව වැටුණා.

ඇයට උදව් කළ හැකි එකම පුද්ගලයා වූයේ ලංකාවේ ඉන්න ඇගේ ඥාති සහෝදරයා. මේ විදියට දිගටම ගියොත් අනුලා සියදිවි නසාගන්න හිතයි කියලා ඔහු කලබලෙන් හිටියේ. ඒ නිසා ඇයට ලංකාවට එන්න ඔහු උදව් කළ අතර ඇයව දුර පළාතක රෝහලකට ඇතුළත් කළා. මේ අතර, ඇගේ සැමියා අනුලාට කරදර හානි කරන්න ඇයව සොයමින් සිටියා.

මේ අතරතුර අනුලාගේ ඥාති සොහොයුරා හිතවතී අමතා ඇගේ කතාව කිව්වා. හිතවතී ඉතා හොඳින් කතාවට ඇහුම්කන් දුන් අතර රෝහලෙන් පිටව ගිය පසුවත් අනුලාට මානසික පීඩාවක් දැනේ නම්, ඇයව මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (1926) වෙත යොමු කරවන ලෙස ඔහුට උපදෙස් දුන්නා. වික්‍රම්ගේ අංකය වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කරන ලෙසත් බ්ලැක්මේල් කරපු සියලුම පණිවිඩවල තිරපිටපත් (screenshots) තබා ගන්නා ලෙසත් හිතවතී තවදුරටත් ඔහුට දැනුම් දුන්නා. අවසාන වශයෙන්, නීතිමය උපකාර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය (CCID) අමතන ලෙස නිර්දේශ කරා.

පූර්වාරක්ෂක ඉඟි:

  • ඔබේ ජංගම දුරකථනය කිසිවෙකුට දෙන්න එපා (ඔවුන් එහි අන්තර්ගතය අනිසි ලෙස භාවිත කළ හැකි බැවින්).
  • ඔබගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට සැමවිටම විශ්වාසදායක ස්ථානයක් තෝරාගන්න. ඔබගේ ජංගම දුරකථන මාදිලිය සඳහා නිල සිල්ලර වෙළෙන්දන් තෝරා ගැනීමට උත්සාහ කරන්න.
  • බ්ලැක්මේල් කිරීමට අදාළ සියලුම සාක්ෂි තබා ගන්න.
  • ඔබගේ විශ්වාසවන්තයින්ගේ උදව් ලබා ගන්න.
  • බ්ලැක්මේල් කරන්නන් සමාජ මාධ්‍ය වේදිකාවක් (ඇප්) හරහා ඔබ වෙත ළඟා වන්නේ නම්, ඔවුන්ගේ ගිණුම් රිපෝට් කර අවහිර (බ්ලොක්) කරන්න.
  • මෙවැනි සිදුවීම් නිසා ඔබ මානසික පීඩාවට ලක් වී ඇත්නම් 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හා සම්බන්ධ වන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.