අවසන් වරට යාවත්කාලීන කලේ 2024/11/19
නොමිලේ ලැබෙන නිසා අපි හැමෝම පොදු වයි-ෆයි (public Wi-Fi) භාවිත කරන්න බොහොම කැමතියි. Wi-Fi තියෙන ස්ථානයක් නම්, අපි ගොඩක් වෙලාවට දෙපාරක් හිතන්නෙ නැතුව ඒකට සම්බන්ධ (connect) වෙන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත්, නොමිලේ ලැබෙන දේවල් වලට ගොඩක් වෙලාවට සැඟවුණු මිලක් තියනවා. පබ්ලික් වයි-ෆයි භාවිත කිරීමේ අවාසි සහ ආරක්ෂිතව සිටීමට අපට අනුගමනය කළ හැකි සරල පියවරයන් බලමු.
පොදු Wi-Fi භාවිත කිරීමේ සැබෑ අවදානම්
දත්ත සොරකම
පොදු Wi-Fi බොහෝ විට අනාරක්ෂිත වන අතර, හැකර්වරුන්ට මුරපද (පාස්වර්ඩ්) හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම ඉතා පහසු කරවයි.
ව්‍යාජ Wi-Fi ජාල
හැකර්වරුන්ට සැබෑ ඒවා මෙන් පෙනෙන ව්‍යාජ Wi-Fi ස්ථාන නිර්මාණය කළ හැකිය. ඔබ එවැනි ජාල (නෙට්වර්ක්) වලට සම්බන්ධ වන්නේ නම්, ඔවුන්ට ඔබේ ඔන්ලයින් ක්‍රියාකාරකම් පිළිබඳ ඔත්තු බැලීමට හෝ ඔබේ දත්ත සොරකම් කිරීමට හැකියාව ලැබේ.
අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) ප්‍රහාර
බොහෝ විට ඔබ නොදැනුවත්වම ක්ලික් කිරීමට පෙළඹෙන තිරයේ දිස්වන ව්‍යාජ දේ (fake pop-ups) හෝ යාවත්කාලීන (updates) හරහා ඔබේ උපාංගයට මැල්වෙයා යැවීමට මෙම පොදු ජාල භාවිත කළ හැක.
අනාරක්ෂිත දත්ත
බොහෝ පොදු Wi-Fi ජාල ඔබේ දත්ත සංකේතනය (එන්ක්‍රිප්ට්) නොකරයි. එමගින් ඔබේ බ්‍රවුසිං ඉතිහාසය (පිවිසි වෙබ්අඩවි) සහ ගිණුම්වල පිවිසුම් තොරතුරු හැකර්වරුන්ට බලා ගැනීම පහසු කරවයි.
ආරක්ෂාව සඳහා ගත යුතු පියවර
- Virtual Private Network (VPN) එකක් භාවිත කරන්න
VPN එකකින් ඔබගේ දත්ත එන්ක්‍රිප්ට් (අන් අයට තේරුම් ගැනීමට අපහසු) කිරීම හරහා ඔබගේ සම්බන්ධතාවය සුරක්ෂිතව තබා ගනී. එමඟින් හැකර්වරුන්ට ප්‍රවේශ වීම අපහසු කරවයි. - සංවේදී තොරතුරු ලබා දීමෙන් වළකින්න
පොදු Wi-Fi හා සම්බන්ධ වී පුද්ගලික දත්ත (බැංකු හෝ සාප්පු සවාරි වැනි) සහිත ගිණුම් වෙත ලොග් වීමට උත්සාහ නොකරන්න. අවශ්‍යම නම්, VPN භාවිත කරන්න නැත්නම් ආරක්ෂිත සම්බන්ධතාවයක් ලැබෙන තුරු සිටින්න. - Wi-Fi හි නම් පරීක්ෂා කරන්න
ව්‍යාජ ජාලයකට සම්බන්ධ වීම වළක්වා ගැනීම සඳහා අදාළ කාර්ය මණ්ඩලය සමඟ සැමවිටම ජාල නාමය තහවුරු කරගන්න. - HTTPS භාවිත කරන්න
ඔබගේ දත්ත එන්ක්‍රිප්ට් කර සුරක්ෂිත බව සහතික කිරීමට වෙබ්අඩවි URL (ලින්ක්) ඉදිරියෙන් HTTPS තිබේදැයි බලන්න. - ශෙයා (Share) කිරීම අක්‍රිය කරන්න
ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ඔබගේ උපාංගයේ ගොනු (ෆයිල්) සහ දත්ත share කිරීම අක්‍රිය (disable) කරන්න. - ද්වි සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / 2FA) සක්‍රීය කරන්න
අමතර ආරක්ෂාව සඳහා 2FA සක්‍රීය කරන්න. මෙමඟින් ඔබේ පාස්වර්ඩ් වෙනත් අයෙකු අතට පත් වූවද ඔවුන්ට ගිණුම තුළට යෑම අපහසු කරවයි. - මෘදුකාංග (සොෆ්ට්වෙයා) අප්ඩේට් කර තබා ගන්න
අලුත් මාදිලියේ තර්ජන වලින් ආරක්ෂා වීමට ඔබේ උපාංගයේ සොෆ්ට්වෙයා සහ ප්‍රති-වයිරස (anti-virus) නිතිපතා අප්ඩේට් කරන්න. - නෙට්වර්ක් විසන්ධි කරන්න
පොදු Wi-Fi භාවිත කිරීමෙන් පසු, ඊළඟ වතාවේ ස්වයංක්‍රීයව (auto) සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ජාලය විසන්ධි කිරීමට අමතක නොකරන්න.