අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.


රූසරා තම සේවා ස්ථානය අසල බෝඩිමක තනිවම ජීවත් වුණා. ඇය මසකට දෙවතාවක් ගෙදර යාමට පුරුදුව සිටියා. තම දෙමාපියන් සහ කෙටි පුහුණු වැඩසටහනක් සඳහා විදේශගතව සිටි පෙම්වතා සමඟ ඇය වීඩියෝ ඇමතුම් ඔස්සේ සම්බන්ධතා පැවැත්වුවා.

දවසක් රූසරා වැඩ ඉවරවෙලා බෝඩිමට යද්දි මොබයිල් ෆෝන් එක හදිසියේ වැටිලා ක්‍රියා විරහිත වුණා. රූසරා ෆෝන් එක ආයෙත් ස්ටාට් කරන්න, චාජ් කරන්න උත්සාහ කරත් ඒ මුකුත් හරි ගියේ නෑ. රූසරාට නිදාගන්න කලින් එයාගෙ පෙම්වතාට කතා කරන්න ඕන වුණා. ඔහු හිටිය රට ලංකාවට වඩා පැය 2 ක් ඉදිරියෙන්. රූසරා කලබලයෙන් ෆෝන් හදන කඩයක් හොයන්න ගියා. ඒත් රෑ 7:30 විතර වුන නිසා එයාට එහෙම තැනක් හොයාගන්න ලේසි වුණේ නෑ. ඔක්කොම කඩ වහලා. ඒත් වාසනාවට වගේ එක පොඩි ෆෝන් හදන කඩයක් ඇරලා තිබ්බා. ඇයගේ මොබයිල් ෆෝන් එක අලුත්වැඩියා කරන්න පුළුවන්ද කියලා ඇසූ විට, ඔවුන් කිව්වෙ ඒ සඳහා ටික වෙලාවක් ගත වෙනවා කියලා. ඒ වගේම එයාගෙ ෆෝන් මොඩ්ල් එකට ගැලපෙන තිරයක් (ස්ක්‍රීන්) ගේන්න ඕන කියලත් කිව්වා. ෆෝන් එක තියලා යන්න කියලා කඩෙන් කිව්වා. ඊළඟ දවසෙ හවස ගන්න පුළුවන් කිව්වා. රූසරා අකමැත්තෙන් ෆෝන් එක තියලා ගියා, ඊළඟ දවසෙ වෙලාවට ගන්න පුළුවන් කියලා හිතලා.

රූසරා: මම ෆෝන් එක තියලා යන්නම්. හෙට හවස අනිවාර්යෙන් මට ඒක දෙන්න පුළුවන් නේද? ඒක නැතුව මට මුකුත් කරගන්න විදියක් නෑ.

ෆෝන් අලුත්වැඩියා කරන්නා: ඔව් මිස් හෙට හවස වෙනකොට අපිට දෙන්න පුළුවන්.

රූසරා ආයෙත් බෝඩිමට ගියා. ඇයට පෙම්වතාට කතා කරන්න විදියක් තිබ්බෙ නෑ. රූසරා එයාගෙ ලැප්ටොප් එක අරගෙන වෙච්ච විස්තරය ඔහුට කියලා ඊමේල් එකක් දැම්මා. හෙට ෆෝන් එක ගන්නවා කියලත් කිව්වා.

රූසරා: හායි පැටියෝ, මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කැඩිලා. මම ඒක හදන්න දුන්නා. හෙට හවසට තමයි ඒක හම්බවෙන්නේ.

රූසරාගෙ පෙම්වතා:අප්පා එහෙමද බබා? මම ඔයාට කීප සැරයක්ම කෝල් කරා. ඔයා ගත්තෙ නැති නිසා බය වුණා. පරිස්සමින් ඉන්න. මම හෙට කතා කරන්නම්. ගුඩ් නයිට්! අම්මටත් මම කියන්නම්.

රූසරා: හරි පැටියො, ගුඩ් නයිට්.

ඊට පස්සෙ දවසෙ මොබයිල් ෆෝන් එක අතට ගත් රූසරා එය නැවත ලබා ගැනීමට පුළුවන් වුන එක ගැන සතුටු වුණා. ඇය ඇගේ මවටත් පසුව ඇගේ පෙම්වතාටත් කතා කළා. දිනක් සරසවි මිතුරෙකු වූ කැලුම්ගෙන් ඇමතුමක් ලැබෙන තුරු ජීවිතය සුපුරුදු පරිදි ගලාගෙන ගියා.

කැලුම්: ඔයාට කොහොමද? සෑහෙන කාලෙකින්.

රූසරා: හායි! හොඳයි. ඔයාට කොහොමද?

කැලුම්: නරකම නෑ. මට පොඩි දෙයක් කියන්න තියනවා. කලබල වෙන්න එපා. ඔයා කොහෙද ඉන්නෙ?

රූසරා:මම ඔෆිස් එකේ ඉන්නෙ. මොකක්ද කියන්නකො මට දැනටමත් බයයි.

කැලුම්: ඔයාගෙ ප්‍රයිවට් පින්තූරයක් ජරා වට්ස්ඇප් ගෲප් එකක තිබිලා. මට යාලුවෙක් තමයි කිව්වෙ. ඌ ඔයාව අඳුරගෙන තියනවා. කලබල වෙන්න එපා, අපි බලමුකො මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා.

රූසරා හොඳටම බය වුණා. වැඩ වලට අවධානය දෙන්න බැරි නිසා එයා නිවාඩුවක් දාලා බෝඩිමට ගියා. බෝඩිමෙන් බෑග් පැක් කර ගෙන කෙලින්ම ගෙදර ගියා. අහන්න ලැබුන දේ ගැන පෙම්වතාට කිව්වා. ඔහුට සැක හිතුනා ෆෝන් එක හදන්න දුන්න තැනින් තමයි මේ පෞද්ගලික පින්තූර ලීක් වෙන්න ඇත්තෙ කියලා.

රූසරාව හිතින් ශක්තිමත් කළ ඔහු මේ සඳහා විසඳුමක් හොයන්න උත්සාහ කරා. ඔහුට හිතවතී වෙබ් අඩවිය හම්බවුණා. උපදෙස් ලබාගැනීම සඳහා ඉක්මනින්ම ඔවුන්ව ඇමතුවා. ප්‍රජා මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම නිසා වට්ස්ඇප් ගෲප් එක තහනම් කළ හැකි බැවින්, වට්ස්ඇප් ගෲප් එක පිළිබඳ තොරතුරු රැස් කර වාර්තා (රිපෝට්) කිරීමට හිතවතී ඔහුට මඟ පෙන්වුවා.

අවශ්‍ය නම්, අපරාධකරු හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) අමතන ලෙස ද ඔවුන් ඔහුට උපදෙස් දුන්නා. රූසරාගේ පෙම්වතා හිතවතීට මෙම කාලෝචිත මග පෙන්වීම ගැන ස්තුති කළා.

පූර්වාරක්ෂක ඉඟි:

• කිසියම් හේතුවක් නිසා කාන්දු (ලීක්) වුවහොත් යථා තත්ත්වයට පත් කර ගැනීම කාලයක් ගත වන ක්‍රියාවලියක් වන හෙයින් සමීප රහස්‍ය දර්ශන පටිගත (රෙකෝඩ්) කිරීම හෝ ඔබේ නිරුවත වීඩියෝ කිරීමට / පින්තූර ගැනීමට අන් අයට ඉඩ දීම නිර්දේශ නොකෙරේ.

• ඔබට ඔබගේ දුරකථනය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය නම්, එය ඔබගේ දුරකථන සන්නාමය සඳහා විශ්වාසදායක සේවා සපයන්නෙකු වෙත ගෙන යන්න.

• ප්‍රජා රීති අනුගමනය නොකරන වට්ස්ඇප් කණ්ඩායම් / ගෲප් රිපෝට් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශය අනුගමනය කරන්න.

• ඔබේ පුද්ගලික / නිරුවත් පින්තූර හෝ වීඩියෝ අනතර්ජාලයේ ඇත්නම්, ඒවා රිපෝට් කර ඉවත් කිරීම සඳහා හිතවතී අමතන්න.

• සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk / report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.